10.5.2024

කුලියාපිටිය තරුණයා ඝාතනයට පෙම්වතියගේ පියාගේ ඇප අවලංගුයි...

කුලියාපිටියේ තරුණයා ඝාතනය සම්බන්ධව ප්‍රධාන සැකය එල්ල වී ඇති ඒම තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳගේ ඇප අවලංගු කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියෝග කර තිබෙනවා.

ඒ අදාළ සැකකරුවන් බන්ධනාගාරය විසින් ඊයේ (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ.

එම සැකකරුට ඇප ලබාදීමට පොලීසිය විරුද්ධ නොවීම මත සැකකරු මීට පෙර ඇප මත මුදා හැර සිටියද, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීමෙන් ඔහු තවදුරටත් බන්ධනාගාර නිලධාරින් භාරයේ පසුවුණා.

කෙසේ වෙතත් ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය කියා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් බව මේ වන විට අනාවරණය වී ඇති බැවින් විමර්ශන සිදුකිරීම සඳහා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව මුල් අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබාදීමට හේතු වූයේ පොලීසිය ඊට විරෝධය නොපෑම බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාව එළඹෙන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැත්තා සහ ඔහුගේ බිරුඳ වූ දිලානි රසිකා නැමැත්තියයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සුසිත් ජයවංශ නැමැති 31 හැවිරිදි තරුණයෙකු පසුගිය මස 22 වනදා කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතියගේ නිවසට යාමෙන් පසු අතුරුදහන්ව තිබුණා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර තරුණයා අතුරුදහන් වී දින 15 කට පසු පසුගිය 07 වනදා මාදම්පේ පණිරෙන්ඩාව රක්ෂිතයෙන් තරුණයාගේ සිරුර සොයාගෙන තිබුණා.

තවත් පුවත්

No items found.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.