ශ්‍රී ලාංකීකයාට පහරදුන් ලන්ඩන් පොලිස් නිලධාරියාට අත්හිටවූ සිර දඬුවමක්...

2022 වසරේ නොවැම්බර් 22 වනදා ලන්ඩනයේ රොම්ෆෝර්ඩ්හි සායනයක නාම පුවරුවකට හානි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී, වැරදි වටහා ගැනීමක් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට පහරදුන් ලන්ඩනයේ මෙට්‍රෙපොලිටන් පොලිස් නිලධාරියෙකුට වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය සති 12ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස අත්හිටවූ සිර දඬුවමක් නියම වී ඇත්තේ 34 හැවිරිදි ජොනතන් මාෂ් නම් පොලිස් කොස්තාපල්වරයෙක්.

එමෙන්ම පහරදීමෙන් අගතියට පත් ශ්‍රී ලාංකිකයාට පවුම් 1500ක වන්දියක් ගෙවන ලෙස චෝදනාවන්ට වරදකරු වූ පොලිස් නිලධාරියාට නියෝග කර ඇති අධිකරණය පැය 150ක කාලයක් වැටුප් රහිතව රාජකාරියේ නිරතවන ලෙසද නියම කර තිබෙනවා.

ඒ සිදුවීමෙන් පසු මේ වන විට පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා ඇති පසුබිමකයි.

පහරදීම සිදුවන ආකාරය පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමේ සවිකර තිබු කැමරාවේ සටහන්ව තිබුණි

පහරදීම වැරදි වැටහීමක්...

මෙම සිදුවීමට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ ලන්ඩනයේ වෛද්‍ය සේවකයෙකු ලෙස රාජකාරියේ නිරත 42 හැවිරිදි දෙදරු පියෙක් වූ රසික අත්තනායක නැමැත්තායි.

අදාළ දිනයේදී රොම්ෆෝර්ඩ්හි වෛද්‍ය සායනයක නාම පුවරුවකට කිසියම් අයෙකු හානි කරන බවට රසික අත්තනායක 999 පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතුමක් දී දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඇමතුමට අනුව අදාළ ස්ථානයට පැමිණි පොලිසිය දුරකථන ඇමතුම ලබදුන් රසිකව, නාම පුවරුවට හානිකළ අපරාධකරු යැයි වරදවා වටහා ගනිමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු  පොලිස් කොස්තාපල් මාෂ්, රසික අත්තනායකව මෝටර් රථයේ පිටුපසට බිම දිගේ ඇඳන් ගොස් ඔහුට බැන වදිමින් හිසේ පිටුපසට පහර දෙන අයුරු පොලිස් නිලධාරියාගේ නිල ඇඳුමේ සවිකර තිබු කැමරාවේ සටහන්ව තිබුණා.

ඒ අනුව අදාළ දර්ශනද නීති කෘත්‍යය සලකා බැලුනු අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

දඬුවමට ලක්වූ පොලිස් කොස්තාපල් ජොනතන්

අයුතු පිළිකුල් සහගත ක්රියාවක්...

මෙම නඩුවේ විනිසුරු ලෙස කටයුතු කළේ වෙස්මිනිස්ටර් මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් ඇනබෙල් පිලින්ග් මහත්මියයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ඇය කියා සිටියේ පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය " අයුතු, පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි."

ඇය වැඩිදුරටත් සඳහන් කළේ " මෙවැනි ක්‍රියා පොලීසිය කෙරෙහි ඇති ජනතා විශ්වාසය අඩු කරන බවයි. "

නඩුවෙන් පසු රසික කිව්වේ මොකක්ද?

" මම එක්සත් රාජධානියේ සිටී කාලය පුරාවටම නීති ගරුක පුද්ගලයෙකු ලෙසයි කටයුතු කළේ. එබැවින් මේ සිදුවීම ශාරීරිකව මානසීකවත් මට විශාල හානියක් කළා "

නඩු විභාගයෙන් පසු අදහස් දැක්වූ රසික අත්තනායක පළ කළේ එවන් අදහසක්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

" මට යුක්තිය ඉටුවුණාද? ඔව් නියත වශයෙන්ම. මේකෙන් පේන්නේ මේ රටේ නීති පද්ධතිය කොපමණ  හොඳින් ක්‍රියාත්මක වෙනවාද කියන එක. මොකද කිසිවෙකු නීතිය ඉහළින් නැහැ "

පැමිණිලිකාර රසික

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.