4.6.2024
පෙත්සම්කාර බන්දුල ජයසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පසුගිය වසරේ දෙසැම්බර් 22 වනදා හෝ ඊට ආසන්න දිනයක නීතිවිරෝධී වාහන ලියාපදිංචි කිරීමේ සිදුවීමකට ආධාර අනුබලදීම තුළින් රජයට පාඩු සිදුකළේ යැයි අල්ලස් කොමිසම පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.
කෙසේ වෙතත් පෙත්සම්කරුට එරෙහිව අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ අවස්ථාවේ නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම සඳහා අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත්කර නොතිබූ බවත්,
නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 02 වනදා බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව පැරණි අල්ලස් පනත යටතේ පත්කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙත්සම්කරුට එරෙහිව නව පනත යටතේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
අනතුරුව වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා කියා සිටියේ නව දූෂණ විරෝධී පනතක් සම්මත කළද පැරණි අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කිරීමට හැකියාවක් තිබෙන බවයි.
එබැවින් පෙත්සම්කරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පෙත්සම් විභාගය අගෝස්තු 08 වනදා පැවැත්වීමට නියමිතයි.