පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව මැයි 17 වනදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ නඩුවේ තින්දුව පසුගිය 30 වනදා ගම්පහ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණද, එදින විවෘත අධිකරණය කැඳවු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා තීන්දුව ප්‍රකාශ කිරීම කල්තබන බව දැනුම් දුන්නා.
එහිදි විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ලේ ලිඛිත දේශන ගොනුකිරීම ප්‍රමාද වූ බැවින්, විත්තියද ප්‍රමාද වී ලිඛිත දේශන ගොනුකරනු ලබු බැවින් එය අධ්‍යනය කර තීන්දුව ප්‍රකාශ කිරීම කල්තබන බවයි.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදායි.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබුවා.
මෙලෙස අධිචෝදනා ගොනුකර ඇති විත්තිකරුවන් වන්නේ යුධ හමුදාවේ හිටපු මේජර් ජෙනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, හිටපු මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, හිටපු සැරයන් ලලිත්ගේ සහ හිටපු කෝප්‍රල් ජේ.එම්. තිලකරත්ත යන අයයි.