සහෝදර නිලධාරින්ට සුහදව සමුදී නීතිපති විශ්‍රාම යයි

මෙරට 48 වන නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අද (26) විශ්‍රාම ගියා.

සිය ධුර කාලය තුළ සමීපව කටයුතු කළ දෙපාර්තමේන්තුවේ සහෝදර නිලධාරින් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවැත්වූ ඒ මහතා එහිදී සුහදව සිය සමුගැනීම සිදුකළ බවයි වාර්තාවන්නේ.

විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට නීතිපති දෙපාර්තමේන්තුව තුළ වසර 37කට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ කර තිබූ ඒ මහතා එම කාලය තුළ පිළිවෙලින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් සහ අවසන් වශයෙන් නීතිපති යන ධුරයන් හොබවා තිබුණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපතිවරයා ලෙස රාජරත්නම් මහතාව පත්කරනු ලැබුවේ 2021.05.26 වනදායි.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් සිය නීතිවේදී උපාධිය ලබාගෙන තිබුණා.

රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙක් ලෙසද කළක් කටයුතු කළා.

මෙරට තුළ සිවිල් හා අපරාධ නීති අංශ තුළ පුළුල් අත්දැකීමක් තිබු ඒ මහතා 2014 වසරේදී ජනාධිපති නීතිඥවරයෙකු ලෙසද දිවුරුම් දුන්නා.


ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරයන් හොබවා තිබූ අතර ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සංජේ රාජරත්නම් මහතා මෙලෙස විශ්‍රාම ගනු ලැබුවේ ඔහුට මාස 06ක සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීම් දෙවරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමකයි.

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කිරීමට උනන්දුවකින් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට සේවා දිගුවක් ලබා නොදෙන ලෙසද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණා.

මෙරට 48 වන නීතිපතිවරයා ලෙස කටයුතු කළ විශ්රාමික නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.