කෙහෙළිය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි...

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ ඉන්දියානු සමාගම් දෙකෙන් ඖෂධ වර්ග 38ක් මිලදී ගැනීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මිහිරි ද අල්විස් අධිකරණයට මේ බව දන්වා සිටියා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුනා.  

එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ ඉහත සඳහන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින බව මීට පෙර නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියද, ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිමට නීතිපතිවරයා මේ වන විට තීරණය කර ඇති බවයි.

එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළේ සිය සේවාදායකයන් තමන්ට මෙම නඩුකරය භාරදෙනු ලැබුවේ පෙර දිනයේ වන බැවින් එය අධ්‍යයනය කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට කල් ලබාදෙන ලෙසයි.

කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයා පෙනී නොසිටන බව දැනුම් දෙන ලද වගඋත්තරකරුවන්ට ඒ බව දන්වා යළි නොතීසි යොමුකරන ලෙස නියෝග කළා.

පෙත්සම සැප්තැම්බර් 18 වනදා යළි කැඳවීමට නියමිතයි.  

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය තුළ සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ගොනුකර ඇති මෙම පෙත්සම් 02හි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කැබිනට් මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් පාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පෞද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු 47දෙනෙකුගේ පිරිසක්.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.