ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස්...

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමට ලෙස කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවය පිළිගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

විත්තියේ මූලික විරෝධය සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තියේ නීතිඥයින් මතු කළ පරිදි මෙම විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මස 26 වනදා වන විට නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්කර නොතිබූ බවයි.

නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ අප්‍රේල් මස 02 දා යැයි පෙන්වා දුන් මහාධිකරණ විසුරුවරයා කියා සිටියේ නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයකට පැරණි පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්සන් තැබීම නීතියට පටහැනි බවයි.

ඒ අනුව මෙම අධි චෝදනා පත්‍රයේ වලංගුභාවය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කර ඇති හෙයින් එම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රයට අදාළ නඩුවෙන් විත්තිකරුවන් නිදහස් කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව තුළින් සඳහන් කර සිටියේ.‍

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.