පියුමි හංසමාගේ බැංකු ගිණුම් පරික්ෂාවට අධිකරණයේ අවසර...

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) කළ ඉල්ලීමක‌ට අනුවයි.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර ඇත්තේ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසයි.

ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ අලුත්කඩේ අංක 04ක අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පියුමි හංසමාලි මෙරට ප්‍රධාන පෙළේ බැංකු 8ක ගිණුම් 19ක් පවත්වාගෙන යන බවයි.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථයක් ඇය රුපියල් ලක්ෂ 780ක් වැය කරමින් එහි හිමිකරුගෙන් මිලදී ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

ඇය රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් ද මිලදී ගෙන ඇති බවයි විමර්ශන නිලධාරීන්  වැඩිදුරටත් සඳහන් කළේ.

එම මුදල ගෙවා ඇත්තේ 2023 වසරේ අවස්ථා 15කදී බවද විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කළා.

පියුමි හංසමාලි සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සම පැහැපත් කිරීමට භාවිත කරන ආලේපන නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පියුමි හංසමාලි සතු බැංකු ගිණුම් 19 හි වාර්තා කැඳවීමට විමර්ශන නිලධාරින්ට අවසර ලබාදුන් අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර විමර්ශන සිදුකර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.