17.5.2024
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වෙනිග්‍රොස් නම් රබර් අත්වැසුම් නිෂ්පාදන පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදායි.
එහිදි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පනහකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික විමර්ශනවලින් අනතුරුව එවකට යුද්ධ හමුදා නිලධාරින් වූ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, කෝප්‍රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළා.
ඒ නීති විරෝධි රැස්වීමක සාමාජිකයන්වීම, මිනිමැරීම, මිනිමැරීමට තැත් කිරීම, බරපතල තුවාල සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනා යටතේයි.
පසුව වසර 05ක් වැනි දීර්ඝ කාලයක් ගම්පහ මහාධිකරණයේදී විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා විභාගය සිදු කිරීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරුන් වන නිමල් රණවීර (සභාපති), සහන් මාපා බණ්ඩාර සහ රශ්මි සිංගප්පුලිගෙන් යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුවන් නිදෝස්කොට නිදහස් කිරීමට නියෝග කරන බවයි.
මෙහිදී අවසන් තීන්දුවේ විශේෂ සටහනක් තබමින් විනිසුරු රෂ්මි සිංගප්පුලි මහතා කියා සිටියේ නිසි විමර්ශනයක් සිදුකර නොමැති අවස්ථාවක අධිකරණය සිදුකළ හැකි මැදිහත්වීම සීමා සහිත බවයි.
මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ යුද හමුදා මේජර් ජනරාල්වරයකු වන අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලිකක සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ නමැත්තන්ය.