11.6.2024
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවට එකඟවන බවත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව එම අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකු පෝතාගම, එම කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර, රත්නපුර එවක පොලිස් ස්ථානාධිපතිවරයා, එහි එවක කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය විවෘත අධිකරණයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියාට වැඳ සමාව ගනු ලැබුවා.
2019 වසරේ මැයි මස 29 වනදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව තමා හිස් වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලීසියේ හා යුද හමුදාවේ නිලධාරීන් ඊට විරෝධය පළ කළ බව පෙත්සම්කාර මාධ්‍යවේදියා මෙම පෙත්සම තුළ සඳහන් කර තිබුණා.
පසුව හිස්වැසුම ගලවා තමන් කාර්යාලට ඇතුළු වූවත් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එහි සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරියකු තමන්ට පහර දුන් බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබුණා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැනවැදුණු බවයි.
පසුව ඔවුන් තමන්ව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට රැගෙන ගොස් එදින සවස තෙක් පොලිස් ස්ථානයේ රඳවා තබා නිදහස් කළ බවද පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙත්සම තුළ දක්වා තිබුණා.
ඒ අනුව වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණේ.