17.5.2024
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වෙනිග්‍රොස් නම් රබර් අත්වැසුම් නිෂ්පාදන පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදායි.
එහිදි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදාව කැඳවීමක් සිදුව තිබූණා. විරෝධතාවය විසුරුවා හැරීමට අතරතුර සිදුවූ වෙඩි තැබීම්වලින්
පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු( අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා, නිලන්ත පුෂ්පකුමාර ) ජීවිතක්ෂයට පත්ව පනහකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික විමර්ශනවලින් අනතුරුව එවකට යුද්ධ හමුදා නිලධාරින් වූ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, කෝප්රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරා තිබුණා.
ඒ නීති විරෝධි රැස්වීමක සාමාජිකයන්වීම, මිනිමැරීම, මිනිමැරීමට තැත් කිරීම, බරපතල තුවාල සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනා යටතේයි.
නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීමට කැඳවූ සාක්ෂිකරුවන් 65 දෙනා අතර සිද්ධියට සම්බන්ධ වු 08 දෙනෙකු, වින්දිතයින් 27 දෙනකුද, විශේෂඥයින් 06 දෙනෙකු සහ විමර්ශන නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත්ව තිබුණා.
එමෙන්ම පැමිණිල්ලේ එම සාක්ෂිවල පැවති සංකීර්ණභාවය නිසාම විනිසුරු මඩුල්ල විත්තිවාචික කැඳවීමටද තීරණය කර තිබුණා.
වසර 11ක කාලයක් සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු අද දින මහාධිකරණ විනිසුරු නිමල් රණවීර (සභාපති),සහන් මාපා බණ්ඩාර සහ රෂ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කිරීම සිදුකළේ ඒකමතික තීන්දුවක් ලෙසයි.
රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් වූ සම්පුර්ණ නඩු තීන්දුව පිටු 242කින් සමන්විත වූ අතර එහි සාරාංශය සභාපති විනිසුරු නිමල් රණවීර මහතා විසින් පැය පැය 4කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශයට පත්කළා.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹූ විනිසුරු නිමල් රණවීර මහතා සාක්ෂි විෂ්ලේණය කරමින් කියා සිටියේ අදාළ විරෝධතාවය විසුරුවා හැරීමට යුද්ධ හමුදාව කැඳවීම නිත්‍යානුකූල දැයි විනිසුරු මඩුල්ල පළමුව අවධානය යොමු කළ බවයි.
" 2013 අගෝස්තු මස 01 වැනිදා සිදුවූ මෙම විරෝධතාවයට විරෝධතාකරුවන් 3000ක පමණ පිරිසක් සහභාගිවෙලා, එය විසුරුවා හැරීමට හමුදා සාමාජිකයන් 289ක් සම්බන්ධ වී ඇති බව සාක්ෂි මගින් අනාවරණය වී තිබෙනවා. මෙම සිදුවීම වන අවස්ථාව වන විට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ගම්පහ පරිපාලන කලාපය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර මහජන ආරක්ෂාව සඳහා ප්‍රශ්නගත කර්මාන්ත ශාලා භූමියේ හමුදා සාමාජිකයන් යොදවා සිට තිබෙනවා. විරෝධතාවය පැවති දිනයේ වැලිවේරිය, රතුපස්වල ආශ්‍රීත ප්‍රදේශයට හමුදා නිලධාරින් අනියුක්ත කිරීම සිදුවෙලා තියෙන්නේ පොලීසිය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව යුද්ධ හමුදාවේ බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුමිත් මානවඩුව විසින් තමයි පළමු විත්තිකරුවන එවකට බ්‍රිගේඩියර්වරයෙකු වූ අරුණ දේශප්‍රිය ගුණතිලකව එම ස්ථානයට අනියුක්ත කර තිබෙන්නේ. එබැවින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන චෝදනාව වන යුද්ධ හමුදා සාමාජිකයන් බලෙන් මෙම ස්ථානයට සම්බන්ධ වුණා කියන චෝදනාව පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කළ සාක්ෂි තුළින් ඛණ්ඩනය වෙනවා. "
රතුපස්වල නගරයේදී විරෝධකරුවන් බීමට පිරිසිදු පානිය ජලය ඉල්ලා සිදුකළ මෙම විරෝධතාවය මුල් අවස්ථාවේදී සාමකාමීව පැවතියද, පසුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගින් පුරවැසියාට ලබාදී ඇති භාෂණයේ නිදහස ඉක්මවා යාමක් බවට පත්ව ඇති බව විනිසුරුවරයා සාක්ෂි විශ්ලේෂණය කරමින් පෙන්වා දුන්නා.
" පැමිණිල්ල විසින්ම සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කළ වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදෙමින් කියා සිටියා මුල් අවස්ථාවේ පළමු විත්තිකරු නිත්‍යානුකූලව විරෝධතාවය විසුරුවා හැරීමට උත්සහ කළ බව. කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සිදුකර ඇති බව වෙනත් සාක්ෂි මගින්ද අනාවරණය වනවා. නමුත් පළමු විත්තිකරු විරෝධතාවයෙන් පසකට ගමන කරද්දි එක්වරම ගල්මුල් ප්‍රහාරයක් එල්ලවෙලා තියෙනවා. ඉන් පසුවයි වෙඩි තැබීමක් සිදුවී තිබෙන්නේ. විද්‍යාත්මක සාක්ෂි මගින්ද මෙම විරෝධතවයේ ප්රචණ්ඩත්වය ඔප්පු වෙනවා. ඉන්ධන පිරහුම්හලක් ආසන්නයේ සහ බැංකු ආසන්නයෙන් පිළිස්සුන ටයර් හමුවී තිබෙනවා. වැලි හා ඉන්ධන පිරවූ බෝතල් උද්ඝෝෂකයින් භාවිතා කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වුණා. නමුත් පැමිණිල්ල ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැහැ. එබැවින් පැමිණිල්ලේ සැකය විත්තියේ වාසියට යොමුවනවා. එම කරුණු අනුව උද්ඝෝෂකයින්ගේ ක්‍රියාකලාපය ප්‍රචණ්ඩත්වයට පත්වුණාට පසුවයි වෙඩිතැබීම සිදුවෙලා තියෙන්නේ. ජනතාව එල්ල කර ඇති ප්‍රහාරය මාරාන්තිකයි. දැඩි බලයක් යොදා මර්දනය නොකළානම් හානිය විශාල වෙන්න තිබුණා. "
තීන්දුවේ අන්තර්ගත සාක්ෂි විෂ්ලේණය තවදුරටත් පැහැදිලි කරමින් විනිසුරුවරයා කියා සිටියේ උද්ඝෝෂණය අතරතුර වෙඩි වැදීමෙන් මියගිය තිදෙනාට, වෙඩි තබන ලද උණ්ඩ අධිකරණය ඉදිරියේ සිටින විත්තිකරුවන් භාවිතා කළ ගිනි අවි තුළින් නිකුත් වූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.
" විරෝධතාවය විසිරුවා හැරීමට කැඳවා තිබු හමුදා සාමාජිකයන් ගණන 289ක් වුනත්, අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවි 138ක් පමණයි. අධිකරණයට ඉදිරිපත් කළ T56 ගිනි අවි 98ක් අතරින්, මෙම නඩුවේ විත්තිකරුවන් 03 දෙනා භාවිතා කළ ගිනිඅවි තුනෙන් පතුරම් 12ක් නිකුත්වෙලා තියෙනවා. නමුත් එම විත්තිකරුවන්ගේ ගිනිඅවි තුළින් නිකුත් වූ උණ්ඩවලින් මරණ සිදුවූ බවර රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වී නැහැ. තවත් T56 ගිනි අවි 07කින් උණ්ඩ 21 මුදාහැරලා තියෙනවා. නමුත් එම නිලධාරින් සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. එබැවින් එම ස්ථානයේ සිටී අනෙකුත් නිලධාරින්ට එරෙහිව විමර්ශන නොකර පැමිණිල්ල මෙම විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් පමණක් නඩුව පවත්වාගෙන යාම තුළ සැකයේ වාසිය විත්තියට යොමුවෙනවා. ඒ වගේම සාක්ෂි මගින් අනාවරණය වනවා විරෝධතාවය වූ ස්ථානයේ හමුදා ඇදුමින් සැරසුන නිලධාරින්ට අමතරව කළු පැහැති ටී ෂර්ටයන්ගෙන් සැරසුන ගිනි අවි අතදැරූ පුද්ගලයින් සිටී බව. එබැවින් මෙම අපරාධයට අදාළව ඒ කුමන හෝ ගිනිඅවියකින් උණ්ඩ නිකුත්වීමක් සිදුව තිබෙන්න පුළුවන්."
" ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙම විත්තිකරුවන් නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වූ බවට කිසිදු සාක්ෂියක් නැහැ. එසේම හමුදා නිලධාරින් එම ස්ථානයට අනියුක්තවීම සිදුව ඇත්තේ නීත්‍යානුකූලවයි. විරෝධතාකරුවන්ගේ දැඩි ප්රචණ්ඩත්වය හා මාරාන්තික ප්‍රහාරය හමුවේයි හමුදාවෙන් වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. ඒ වගේම මේ පළවෙනි විත්තිකරු වෙඩි තැබීමට අණදුන් බවටත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වෙලා නැහැ. පැමිණිල්ලේ බොහෝ සාක්ෂි පරස්පරයි. සැකකටයුතු තත්ත්වයන් ගණනාවක් තිබෙන බැවින් චූදිතයන්ට එරෙහිව කිසිදු නෛතික පදනමක් යටතේ වරද පවරන්න බැහැ. මරණ තුනක් සිදුවීම අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නමුත් එවැනි අවාසනාත්මක සිදුවීමක් යටතේ වුවද, අධිකරණයට ක්‍රියා කළ හැක්කේ ඉදිරිපත් වූ සාක්ෂි මතයි. "
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුවන් නිදෝස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් වූ මහාධිකරණ අවසන් නඩු තීන්දුවේ විශේෂ සටහනක් තබමින් විනිසුරු රෂ්මි සිංගප්පුලි මහතා කියා සිටියේ නිසි විමර්ශනයක් සිදුකර නොමැති අවස්ථාවක අධිකරණය සිදුකළ හැකි මැදිහත්වීම සීමා සහිත බවයි.
යුද හමුදා නීතී නිලධාරී මේජර් නීතීඥ සම්පත් විජයරත්න කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් ගිනි අවි අතුරින් මෙතෙක් අධිකරණය භාරයේ ඇති ගිනි අවි 03ක් සහ ජීව උණ්ඩ 3943ක් යුද හමුදාවට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලු විනිසුරු මඩුල්ල අභියාචන කාලයෙන් පසු අදාළ ගිනි අවි සහ උණ්ඩ යුද හමුදාවට මුදා හැරීමට නියම කළා.
මෙරට අධිකරණ ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සලකුණු කළ රතුපස්වල නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ පද්මාල් ද සිල්වා වීරසිංහ, රජයේ නීතීඥ ක්‍රිෂාන් ද අල්විස් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතායි.
එමෙන්ම මෙහි පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ඩේල් ගුණරත්න, ශිරාණී දිසානායක සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ද අනෙකුත් විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් නීතීඥවරුන් වන සන්දීප්ත සුරියආරච්චි, චමත් වික්‍රමසිංහ සමඟ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නද පෙනී සිටියා.