6.6.2024
2005 වසරේ ජුනි මස 30 වනදා රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික පියෙකු හා ශ්රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් නැමැති තරුණිය ඝාතනයට ලක්ව තිබුණා.
මරණකාරියගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිරකර තිබු අතර හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිදීම් 64ක් සිදුව තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.
පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් එවකට 19 හැවිරිදි වියේ පසුවූ ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැති තරුණයාව අත්අඩංගුවට ගැනුනු අතර මහාධිකරණය හමුවේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු ඝාතන චෝදනාවට වරදකරු වූ චූදිතට වසර 12ක සිරදඬුවමක් නියම කෙරුණා.
කෙසේ වෙතත් මහාධිකරණ තීන්දුවට එරෙහිව පැමිණිලිකරු අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකළ අතර එහිදි අභියාචනාධිකරණය චූදිතට මරණ දඬුවම නියම කළා.
අනතුරුව විත්තිකාර ජුඩ් ශ්‍රමන්ත ජයමහ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළද, මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයද මරණ දඬුවම ලබාදිය හැකි බවට වූ ඓතිහාසික තීන්දුවක් සමගින් ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට අභියාචනාධිකරණය ලබාදුන් මරණ දඬුවම ස්ථිර කරනු ලැබුවා.
කෙසේ වෙතත් මෙවන් පසුබිමක ජුඩ් ශ්රමන්ත ජයමහට ලබාදී තිබු මරණ දඬුවම 2016 වසරේ ලබාදුන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල් කෙරුණා.
එම වසරේ ඔක්තෝබර් 20 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින්, එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව දීම පිළිබඳ සලකා බලන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළා.
අනතුරුව 2019 වසරේදී විත්තිකාර ජුඩ් ශ්‍රමන්ත ජයමහ ජනධිපති සමාව යටතේ නිදහස් කිරීමට කටයුතු කෙරුණා.
ජුඩ් ශ්රමන්ත ජයමහට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබුවේ කාන්තා හා මාධ්ය සාමූහිකය විසින්.
පෙත්සම් විභාගයේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාපටිපාටියක් පැවතියද මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් සිදුකළ යුතු වුවද මෙහිදී එසේ සිදුකර නොමැති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බව නඩු ගොනුව අධ්‍යනයේදී පෙනී යන බවයි.
එබැවින් ජනාධිපති සමාව ප්‍රධානය කිරීමේදී අනුගමනය කර ඇති මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බව විනිසුරුවරයා කියා සිටියා.
මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල පවතින ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා නඩු විභාගය සිදුවන අවස්ථාවේ විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නා.
විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටළු සහගත බවයි.
මෙම රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ප්රසිද්ධ මාධ්යයේ අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කියා සිටියේ මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී පුජ්ය අතුරලියේ රතන හිමියන් දැඩි උනන්දුවකින් කටයුතු කළ බවයි.
එක් අවස්ථාවකදී අතුරලියේ රතන හිමියන් අදාළ තරුණයාගේ දෙමව්පියන් සමඟ තමා හමුවීමට පැමිණ ලිපියක් භාරදුන් බවත්, ඉන්පසුවද වරින් වර හාමුදුරුවන් පැමිණ රෝයල් පාක් චූදිතයාව නිදහස් කරදෙන ලෙස ඉල්ලා සිටි බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධ මාධ්‍යයේ පවසා තිබුණා.
එමෙන්ම අදාළ තරුණයා නිදහස් කිරීමට අදාළව තමන් එම තරුණයාගේ දෙමව්පියන්ගෙන් කෝටි ගණනක මුදලක් ලබාගත් බවට කතාවක් සමාජය තුළ පැතිර ගියද තමන් එවැනි මුදලක් ලබා නොගත් බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණා.
එහෙත් ඒ පිළිබඳ බුද්ධි අංශ නිලධාරින් යොදවා කළ සොයාබැලීමේදි කිසියම් පාර්ශවයක් අදාළ නිදහස් කරගැනීම සම්බන්ධයෙන් එම තරුණයාගේ පවුලේ සමාජිකයන්ගෙන් මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වූ බවද, ඇතැම් විට එලෙස මුදල් ලබාගත් තැනැත්තන් ජනාධිපති සමාව ලබාගැනීමට උනන්දුවෙන් කටයුතු කළා විය හැකි යැයිද හිටපු ජනාධිපතිවරයා දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා.
මෙවැනි පසුබිමක 2023 ජුනි 12 වනදා ප්‍රශ්වගත ජනාධිපති සමාව ලබාදීමට එරෙහි පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බවයි.
ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ එම ලිපියේ අන්තර්ගත කරුණු වලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන බවයි.
අදාළ පාර්ශවයන්ට එවැනි ඉල්ලීමක් කිරීමට පැවති නෛතික බලය කුමක් දැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.
පෙත්සම පිළිබඳ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලෙස අදාළ ජනාධිපති සමාව බලරහිත කළ අතර විනිසුරුවරුන් තිදෙනා වෙන් වෙන්ව සිය තීන්දුව විස්තර කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයි රාජා - සභාපති - ත්‍රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
" අධිකරණය මගින් වරදකරුවී දඬුවම් ලැබුවෙකුට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීති පටිපාටියක් තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවේ ඇතුළත් වෙනවා. තීන්දුව ලබාදුන් අධිකරණයේ විනිසුරුවරයාගේ වාර්තාවක් කැඳවීම, නීතිපතිවරයාගේ වාර්තාවක් සහ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම යනාදිය එම සමාව දීමේ නීතිමය පටිපාටියට ඇතුළත්. මෙම විත්තිකරුට අවස්ථා දෙකකදී සමාව ප්‍රධානය කර තිබුණත් එම නීතිමය පටිපාටිය ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නැහැ. ඒ හරහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන චේතනාවිතවම උල්ලංඝනය කර තිබෙනවා. එමෙන්ම මහජනතාව සතු පරමාධිපත්‍ය බලය මෙන්ම විශ්වාසයද, නීතියේ ආධිපත්‍යයද බරපතළ ලෙස බිඳ හෙළීමට ඔහු කටයුතු කර තිබෙනවා. "
විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති සමාව අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවට වූ වගඋත්තරකාර පාර්ශ්වයේ තර්කය තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය ජනාධිපතිවරයාට අනන්‍ය බලයක් බවත් එය අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවටත් වග උත්තරකාර පාර්ශ්වය මූලික විරෝධතාවක් මතුකර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා. සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ බලය විධායක ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ. එවැනි අවස්ථාවක එම විධායක ක්‍රියාව අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකියි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත්තනෝමතික ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලබා දී තිබෙන බලය අතික්‍රමණය කොට කටයුතු කිරීම නිසා මෙම නඩුවෙන් මියගිය තරුණියගේ දෙමව්පියනට වසර ගණනාවක් දැඩි මානසික පීඩාවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔවුන්ට සිදු වූ එම මානසික පීඩාව මුදලින් ගණනය කිරීමට නොහැකියි."
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ - සාමාජික - ත්‍රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
" පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මෙහි විත්තිකරුගේ දෙමව්පියන් සහ විත්තිකරු විසින් පෞද්ගලිකවම කරන ලද ඉල්ලීම් පදනම් කරගෙන සමාව ප්‍රදානය කළ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් කර තිබුණා. එහෙත් විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පැහැදිලියි. ඔහු වගකීම් විරහිත ආකාරයට සහ අතනෝමතික ලෙස සිය බලය අභිබවා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මෙම විත්තිකරුට ප්‍රදානය කළ සමාවබල රහිත මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළ යුතුයි."
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා - සාමාජික - ත්‍රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
" මෙහි විත්තිකරුට ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් ඊට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අසමත් වී තිබෙනවා. ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම් අඩංගු සටහන් පවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හමුවුණේ නැහැ. එබැවින් ජනාධිපතිවරයා බරපතල ලෙස සිය බලය අවභාවිතා කොට තිබෙන බව පෙනී යනවා. සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන සුවිශේෂී බලයක් වුවද එය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කිරීමට හැකියාවක් නැහැ."
මෙම පෙත්සම පිළිබඳ තීන්දුව අවසානයේ විනිසුරු මඩුල්ල තවත් ඉතා වැදගත් නියෝගයක් නීතිපතිවරයාට නිකුත් කළා.
ඒ අධිකරණය මගින් වරදකරු කොට දඬුවම් ලැබූ සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු මූලධර්මයන් හා මාර්ගෝපදේශ මාලාවක් පිලිබඳව ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් යන පාර්ශවයන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගන්නා ලෙසත් එම උපදෙස්වල පිටපතක් මෙම නඩු තීන්දුව නිකුත් වී මාසයක් තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.