9.5.2024
සම්පුර්ණ නම - ඩයනා සමන්මලි ගමගේ
උපන් දිනය : 1965-12-18
සිවිල් තත්ත්වය : විවාහක
ආගම : බෞද්ධ
ඩයනා ගමගේ යනු මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ රාජ්‍ය අමාත්‍යවරියක්. ඇය සංචාරක සහ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියා.
58 හැවිරිදි ඩයනා ගමගේ 2020 අගෝස්තු 20 වැනිදා මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසියේ සමගි ජන බලවේගයෙන්.
එහෙත් පසුව ඇය ගෝඨාභය රාජපක්ෂ රජයට සහය පළ කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වුණා.
අනතුරුව ඇය 2022 අප්‍රේල් 18 වැනිදා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරිට ලෙස දිවුරුම් දුන්නා.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාව වන විට ඇය කටයුතු කරමින් සිටියේ වත්මන් රනිල් වික්‍රමසිංහගේ රජයේ සංචාරක හා ඉඩම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි.
පාර්ලිමේන්තුව තුළ ආන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ අවස්ථා කිහිපයකදී ප්‍රබල වාග් ගැටුම්වලට සම්බන්ධ වනු දක්නට ලැබුණා.
ඉකුත් වසරේ ඔක්තෝබර් 20 ඩයනා ගමගේ පාර් ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබු අතර ඒ හේතුවෙන් මාසයක කාලයක් ඇයට පාර් ලිමේන්තුව තහනම් කිරීමටද කටයුතු කෙරුණා.
එමෙන්ම ඇය මතවාදී ලෙස තැබෑරුම් විවෘතව තබන වේලාව වැඩිකිරීම වෙනුවෙන්, ගණිකා වෘත්තිය නීතිගත කිරීම සහ විදේශ අපනයනය සඳහා කංසා නීතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටිම නිසා සමාජය තුළ දැඩි ආන්දෝලනයට තුඩුදුන් චරිතයක් බවට පත්වුණා.
බීබීසී සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩයනා ගමගේ තමන්ට බ්රිතාන්ය සමඟ ඇති සම්බන්ධය පිළිබඳ කලකට ඉහතදී මෙලෙස අදහස් පළ කර තිබුණා.
"මම මේ රටේ ඉපදුනේ, මම ඉස්කොලේ ගියේ මේ රටේ. මම මේ රටෙන් යනකොට අවුරුදු 16කට කිට්ටු යි. මගේ අම්මා බ්‍රිතාන්‍ය ජාතියේ කෙනෙක්. මගේ පරම්පරාව අම්මාගේ බ්‍රිතාන්‍ය. මගේ සීයා බ්‍රිටිෂ් ආර්මි ඔෆිසර් කෙනෙක් ලංකාව භාරව හිටපු දෙවන ලෝක යුද්දේ. මගේ ආච්චි 17 වැනි සියවසේ රටට සුද්දෝ ආපු වෙලාවේ ඉඳලා එන පරම්පරාවකින්. මට අම්මගෙන් හිමිවෙන බ්‍රිතාන්‍ය අයිතිවාසිකමක් තියෙනවා. නමුත් මම ශ්‍රී ලංකාවේ, මගේ අයි.ඩී. ශ්‍රී ලංකාවේ. මගේ පාස්පෝට් ශ්‍රී ලංකාවේ. මම මේ රටේ පුරවැසියෙක් ”
රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය බ්රිතාන්ය පුරවැසියෙකුව සිටිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරි ගමන් බලපත්රයක් සහ සාමාන්ය ගමන් බලපත්රයක් පමණක් ලබාගෙන මෙරට තුළ නීති විරෝධීව රැඳී සිටින බවට සමාජ ක්රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්වරට පැමිණිල්ලක් ගොනුකර තිබුණේ 2020 වසරේ නොවැම්බර් 02 වනදායි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් කිරීම වැළැක්වීමේ අංශය කාර්යාංශය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
එවැනි පසුබිමක ඕෂල හේරත් අභියාචනාධිකරණය හමුවේද පෙත්සමක් ගොනුකරනු ලැබුවේ රාජ්‍ය ඇමති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව දක්වා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පසුව අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුනා.
එහි තීන්දුව ඉකුත් වසරේ ඔක්තෝම්බර් 31 වනදා ප්‍රකාශයට පත්කෙරුණු අතර ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් සභාපති විනිසුරුවරයා ප්‍රමුඛ බහුතර විනිසුරුවන් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
කෙසේ වෙතත් පසුව පෙත්සම්කාර ඕෂල හේරත් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කළා.
ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ප්රශ්නගතවීමට පෙර එය අභියාචනාධිකරණය හමුවේද ප්රශ්නගත වුණා.
ඒ ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණයට ගොනුකර තිබු පෙත්සමක් හේතුවෙන්.
අදාළ පෙත්සම විභාගයට ගැනුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහි තීන්දුව ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වනදා ප්‍රකාශයට පත්කළ අතර අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සහ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
එහිදි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇති ඉල්ලීම් තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.
"මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර තිබිය යුතුයි. එහෙත් පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව යි. පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ වගඋත්තරකාරියට තිබෙන අපරාධ නඩුව පමණයි. ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා. සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මෙම සාක්ෂි පිළිගන්න පුළුවන් ද කියන ගැටලුව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවයි."
අභියාචනාධිකර තීන්දුවේ බහුතර මතය ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති පෙත්සම නිශ්ප්‍රභ කිරීමට තීරණය කළද, විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ඒ. මරික්කාර් මහතා විසම්මුතික තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.
" වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටිනවා. එවැනි වටපිටාවක ඇය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමට අසමත් වී තිබෙනවා. එබැවින් ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති නැහැ. ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීන්දු කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමටත්, ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මා තීන්දු කරනවා. "
ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය ප්‍රශ්න කළ පෙත්සම අභියාචනාධිකරණයේදී නිශ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කාර ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුනු අතර අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟත්වය ඇතිව ඒකමතික තීන්දුවක් ලෙස ඉකුත් මැයි 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කළා.
එහිදී තින්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් විගස ඇයගේ මෙරට පුරවැසිභාවය අහෝසි වී ඇති බවයි.
" වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් දිවයිනට පැමිණ ඇත්තේ 2014 වසරේ ඔක්තෝම්බර් 05 වනදායි. අනතුරුව ඇය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට නඩු විභාගයේදී කරුණු අනාවරණය වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසීභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිබාවය අහෝසි වී ඇති බව පැහැදිලියි. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව පැහැදිලියි. "
එමෙන්ම වගඋත්තරකාර ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇය අත්අඩංගුවට ගැනීමට බලය තිබියදී පොලීසිය එසේ කටයුතු කර නොමැති බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළා.
" වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ කරුණු අනුවද ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව පැහැදිලි වෙනවා. එහිදි වගඋත්තරකාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවත්, අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වගඋත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කර නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි. නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේද නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු අවධාරණය කර තිබෙනවා."
ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබු පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත නිශ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කරුණු විග්‍රහ කර තිබුණා.
" අභියාචනාධිකරණය ඉදිරියේ පැවති නඩු විභාගයේ දී නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා පෙත්සම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර තිබූණා. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වගඋත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි"
සිය තීන්දුව විග්‍රහ කිරීම අවසානයේ විනිසුරුවරයා සඳහන් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නා.
" මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්‍යවශ්‍ය සුදුසුකමක්.එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා. ඒ අනුව ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශ කර තිබු තීන්දු සියල්ල ඉවත දැමීමට මෙම අධිකරණය තීන්දු කරනවා.
ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් " කෝ වොරන්ටෝ" රිට් ආඥාවක් නිකුත් කරන බව විනිසුරුවරයා සිය තීන්දුව අවසානයේ සඳහන් කළා.
එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියට වැඩිදුරටත් නියෝග කළේ පෙත්සන්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසයි.
මෙම නඩුවේදි පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් පෙනී සිටි අතර වගඋත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියා.