‍කෙහෙළිය එළියට එන දවස තවත් කල්යන ලකුණු...

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් සිදුවීම පිළිබඳ නඩුවට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (05) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුනා.

පෙත්සම සලකා බැලුනේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

මෙහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එසේ තිබියදී තම සේවාදායකයාව දිගින් දිගටම පොදු දේපොළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියා.

පොදු දේපොළ පනත යටතේ යම් සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙන්නේ මහාධිකරණ නඩු විභාගයක් ආරම්භවීමෙන් පසුව පමණක් බවත් එවැනි වාතාවරණයක මෙම නඩුකරයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය තම සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා

පෙත්සම වැඩිදුර සලකාබැලීම මේ මස 10 වනදා තෙක් කල් තැබුනා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.