බාලවයස්කාර දැයක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවෙක් වූ චූදිතයෙකුට වසර 30ක සිරදඬුවමක්...

2021 වසරේදී වයස අවුරුදු 16ක දැරියක් දූෂණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකුට වසර 30ක සිරදඬුවමක් නියම කිරීමට පානදුර මහාධිකරණට අද (24) නියෝග කළා.

පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා මෙම නියෝගය නිකුත් කළේ දිර්ඝ නඩු විභාගයකට පසු සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.

මෙලෙස දඬුවම් නියම වූයේ මොරටුව, ලක්ෂපතිය, කනගරත්න මාවත ප්‍රදේශයේ පදිංචි රජීව රවිනාත් ජයතිලක නමැති 38 හැවිරිදි  පුද්ගලයෙකුටයි.

විත්තිකරු 2021 වසරේ පළමු මාස තුන අතරවාරයේ 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පැවරුවා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා 03න් 02කට ඔහුව වරදකරු කෙරු මහාධිකරණය එක් චෝදනාවකට වසර 15 බැගින් දඬුවම් නියම කරමින් එය වෙන් වෙන්ව අවස්ථා දෙකකදී ගෙවී යායුතු බව නියෝග කළා.

අදාළ දඬුවමට අමතරව චූදිතට රුපියල් 50,000ක දඩ මුදලක්ද, වින්දිත දැරිය වෙත රුපියල් 500,000ක වන්දියක්ද ගෙවන ලෙස මහාධිකරණ නියෝගයේ සඳහන්.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 18ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව තුළ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අදාළ විත්තිකරුට එරෙහිව පැවති ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය විසින් පනවා තිබු වසර දෙකක අත්හිටවූ සිරදඬුවමද බලාත්මක කිරීමට පානදුර මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.