මැතිවරණ සමයේ ආණ්ඩුවට වාසිදායක ව්‍යපෘති කිරීමට ඉඩදෙන්න එපා! ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට...

ඉදිරි මැතිවරණ සමයේ  ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති ලිපියට අනුකූලව කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එය ගොනුකර ඇත්තේ ජාතික ජන බලවේගයේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා විසින්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක්.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2024 අයවැය යෝජනා යනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අමතරව "කඳුකර දශකය" නමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති 2ක මෙම වසරේ ජූලි 31 වනදා වනවිට අවසන් කළ යුතු බවට නිවේදනය කර ඇති බවත්, ව්‍යාපෘතී සඳහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන්කිරීමට තීරණය කර ඇති බවත් පෙත්සමේ සඳහන්.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාරදුන් ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන අපේක්ෂකයින් මෙම ප්‍රජා කමිටුවල කටයුතු කරන බැවින් මෙම ව්‍යාපෘති හරහා ඔවුන්ට දේශපාලනික වශයෙන් වාසි ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවත් පෙත්සමේ පෙන්වාදෙන්නේ.

එබැවින් එවැනි අපේක්ෂකයින්ට රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර නොගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන් දැනුවත් කරන්නැයි දන්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත්දා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සම තුළ සඳහන් තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා පළාත් පාලන ඡන්ද විමසීමේදී දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බැවින් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.