සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙයි

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

එහිදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුගේ කටහඬ සාම්පල පරීක්ෂණය සඳහා යොමු කළද,  එම පරීක්ෂාව සිදුකරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

එහිදි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදුකළ ද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවාදායකයාට අසාධාරණයක් සිදුවන බවයි

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට නියෝග කළා.

2019 වසරේ පැවති එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුට ගත් සචිත්‍ර සේනානායක මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටිනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.