රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී දුන් ජනාධිපති සමාව අහෝසියි...

ආන්දෝලනාත්මක රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ.

ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් නඩු ගාස්තු ලෙස ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කළා.

එමෙන්ම අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය නියෝග කර සිටියා.

මෙම ක්‍රියාදාමය සිදුකිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාවිතව උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහනන් වූ අතර මේ වන විට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා නියම කෙරුණා.

එම විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එස්. තුරෙයි රාජා (සභාපති), යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කළා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.