රාජ්‍ය ඇමති ඩයනාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව දක්වා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප්‍රකාශ කළා.

මීට පෙර අවස්ථාවේ මෙවැනිම තීන්දුවක් ඉල්ලා පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුනද, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රමුඛ බහුතර විනිසුරු තීන්දුවෙන් එම පෙත්සම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව ඕෂල හේරත් අභියාචනාධිකරයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකණයට අභියාචනයක් ගොනු කළ අතර එය සලකා බැලුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ  සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

අනෙකුත් විනිසුරුවන් දෙදෙනාගේද එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කියා සිටියේ " වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ කරුණු අනුවද ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව පැහැදිලි " වන බවයි.

මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසීභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යන බැවින් වගඋත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිබාවය අහෝසි වී ඇති බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා -

" මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්‍යවශ්‍ය සුදුසුකමක්.එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව  පැහැදිලි වෙනවා. ඒ අනුව ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණය විසින් ප්‍රකාශ කර තිබු  තීන්දු සියල්ල ඉවත දැමීමට මෙම අධිකරණය තීන්දු කරනවා."

ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් " කෝ වොරන්ටෝ" රිට් ආඥාවක් නිකුත් කරන බව විනිසුරුවරයා සිය තීන්දුව අවසානයේ සඳහන් කළා.

එසේම පෙත්සන්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියට නියෝග කළා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.