වතු සමාගම්වල ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි...

වතු කම්කරු අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය අද (03) තීන්දු කළා.

ඒ අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් ගොනුකර ඇති පෙත්සම සලකා බැලුනු අවස්ථාවේදියි.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇතුළු පිරිසක් වෙත එළඹෙන ජූනි මස 26 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවුණා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52ක් දෙනෙකුගේ පිරිසක්.

සිය පෙත්සම තුළ පෙත්සම්කාර වැවිලි සමාගම් පෙන්වා දෙන්නේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1,350ක්ද, රුපියල් 300 සහ රුපියල් 80 බැගින් වූ දීමනාවන් දෙකක්ද ලබාදිය යුතු බවට නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව කම්කරු අමාත්‍යවරයා මෙවැනි තීරණයක් ගැනීම තුළ ස්වභාවික යුක්තියේ මුලධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එබැවින් අතනෝමතික ආකාරයෙන් ගත් මෙම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි වැවිලි සමාගම් සිය පෙත්සම තුළින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.