විනිසුරුවරුන් පත් කිරීම වළක්වා ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් දෙකක්...

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (25) අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

අදාළ අතරමැදි පෙත්සම් ගොනුකර ඇත්තේ පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන අය විසින්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කළ නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතිඥවරයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි.

එම පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශය කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත ඉකුත් අප්‍රේල් මස 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවද මෙම පෙත්සම්වල සඳහන්.

මෙම අතුරු තහනම් නියෝගය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායකයේ බලතලවලට මැදිහත් වී තිබෙන බව සඳහන් කරමින් ඇතැම් පුද්ගලයින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඒ තුළින් ඉහළ සහ පහළ අධිකරණවල විනිසුරුවරුන් විවේචනයට ලක් කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.