එන්නත් ලියාපදිංචි ගැටලුව අභියාචනාධිකරණයට...

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් වැඩිදුර විභාගය සඳහා ලබන මස 23 වනදා කැඳවීමට අභියාචානාධිකරණය දින නියම කළා.

ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ අද (20) කැඳවු අවස්ථාවේදියි.

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ප්‍රණීතා එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන් පී. බුද්දරගේ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ ප්‍රශ්නගත එන්නත් තවදුරටත් නිෂ්පාදනය වෙමින් පවතින බැවින් මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදිය යුතු බවයි.

එහෙත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාළ ඖෂධය පිළිබඳව මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන මස 23 වනදා සිදුකිරීමට අධිකරණය දින නියම කළා.

පෙත්සම්රුවන් මෙම පෙත්සම තුළින් පෙන්වා දී ඇත්තේ ඖෂධයක් වෙළෙඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට පෙර එය මාස හයක පරීක්ෂණ කාලයකට යටත් කරන බවයි.

එහෙත් වගඋත්තරකාර සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මොළය ආශ්‍රිත රෝග සහ නිර්වින්දන කටයුතු සඳහා යොදා ගන්නා එන්නත් වර්ග අටක් එම පරීක්ණ කාලයට යටත් නොකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කිරීම තුළින් මහජන සෞඛ්‍යයට අනතුරුදායක වාතාවරණයක් නිර්මාණය වී ඇති බව පෙත්සමේ සඳහන්.

එබැවින් අදාළ එන්නත් වර්ග ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අප හා සම්බන්ධ වන්න!

ස්තුතියි! ඔබගේ විස්තර ලැබී ඇත!
අපොයි! පෝරමය ඉදිරිපත් කිරීමේදී යමක් වැරදී ඇත.