25.6.2024
අදාළ නිවේදනය තුළින් අධිකරණ සේවා සංගමය පවසා තිබුණේ ඉකුත් 19 වනදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්කළ බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අධිකරණ දුන් තීන්දුවලින් අතෘප්තිමත් වූ විජයදාස රාජපක්ෂ මහතා අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වී සිටින බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කතානායකවරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 චක්‍රලේඛය මගින් දිසා විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකිරීම වළක්වා තිබියදි, අධිකරණ සේවා සංගමය මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගත හැකි බවයි.
එමෙන්ම අධිකරණ සේවා සංගමය නිකුත් කළ අදාළ නිවේදනය තුළින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එබැවින් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ එම සංගමයේ ලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.